කෘතිම බුද්ධිය - AI

 


හැදින්වීම

හොඳයි, AI හෝ කෘතිම බුද්ධිය යනු වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය මාතෘකාවකි. ඔබ මෙම ක්ෂේත්‍රයට නවකයෙක් නම් හෝ ඔබ AI ගැන ඉගෙන ගැනීමට සැබවින්ම උනන්දුවක් දක්වන්නේ නම්, මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

ඔබ සිනමා රසිකයෙක් නම් ඒ.අයි (AI -2001), අයි-රොබෝට් (I-Robot - 2004), ටර්මිනේටර් (Terminator - 1984, 1991, 2003, 2009 2015, 2019), එක්ස් මැෂිනා (Ex Machina - 2014), මැට්‍රික්ස් (Matrix - 1999, 2003), ඇලීටා (Alita: Battle Angle - 2019) යන සිනමාපටවලින් එකක් හෝ නරඹා තිබිය යුතුය. එම සිනමාපටවල දැක්වෙන්නේ පරිපූර්ණ කෘතීම බුද්ධියක් කෙසේ ක්‍රියා කළ ක්‍රියා කරනු ඇද්ද යන්නයි.






මෙම සෑම චිත්‍රපටයක් ම නැරඹු විට අපට එන අදහස නම් කෘතීම බුද්ධියෙන් මානව වර්ගයාට ලැබෙන යහපතට වඩා එල්ලවන තර්ජන බොහොම වනු ඇති බවයි. නමුත් මගේ අදහස නම්  සැබෑ කෘතීම බුද්ධියක් චිත්‍රපටවල පෙන්වන තරමේ දියුණුවක් නොලබා ඇති පසුබිමක එවැන්නක අවසාන ස්වභාවය මෙසේ වේ යැයි දැඩි අදහසක් දැරීමට අප තවමත්  ඉක්මන් නොවිය යුතු බවයි. 

කෘතීම බුද්ධිය යනු  අද වනවිට වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින විෂය ක්ෂේත්‍රයකි. කෘතීම බුද්ධිය යනු මිනිසුන් වැනි රොබෝවරුන් ( humanoid robots) යයි ඔබ සිතනවා නම් එය වැරදි මතයකි.  මෙම විෂය ක්ෂේත්‍රය ඉතා පුළුල් ය. ඊට තවත් විෂය පථ ගණනාවකම සෘජු සම්බන්ධතාවක් පවතී. අපි ඒ ගැනත් කතා කරමු.

කෘතිම බුද්ධිය පිළිබද අදහස 1960 ගණන්වලට දිවෙන අදහසකි.මෙහි හි ඉතිහාසය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට ඔබට ඇත්ත වශයෙන්ම අවශ්‍ය නම්, ඒ සදහා මෙම විකිපීඩියා ලිපිය පරිශීලනය කර බලන්න.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද  කෘතිම බුද්ධිය පිළිබඳ එක් අර්ථ දැක්වීමක් නම්,

"කෘතිම බුද්ධිය (AI) යන්නෙන් අදහස් කරන්නේ මිනිසුන් මෙන් සිතීමට සහ ඔවුන්ගේ ක්‍රියාවන් අනුකරණය කිරීමට වැඩසටහන්ගත කර ඇති (programmed) යන්ත්‍ර මගින් මිනිස් බුද්ධිය අනුකරණය කිරීමයි. ඉගෙනීම සහ ගැටළු විසඳීම වැනි මිනිස් මනස හා බැඳී ඇති ගති ලක්ෂණ ප්‍රදර්ශනය කරන ඕනෑම යන්ත්‍රයකට කෘතිම බුද්ධිය යන යෙදුම යෙදිය හැකිය."

සරලවම කිවොත් යන්ත්‍රයකට හෝ පරිගණකයකට මිනිසුන් සේ කටයුතු කිරීමට හා තීරණ ගැනීමට හැකි පමණින් දියුණු වීම කෘතිම බුද්ධිය යි. කෘතිම බුද්ධිය සීයට සීයක්ම තවමත් යථාර්තයක් නොවුණත්, අද අපට දක්නට ලැබෙන සමහර සොයාගැනීම් හා නිර්මාණවලින්  හැගෙන්නේ එවන් කෘතිම බුද්ධියක් යථාර්ථයක් වන දිනය නම් වැඩි ඈතක නොවන බවයි.


කෘතිම බුද්ධිය හා සම්බන්ධ අනෙකුත් විෂය ක්ෂේත්‍රයන් 

ඇත්ත වශයෙන්ම කෘතිම බුද්ධිය නැතිනම් AI යනු  තාක්‍ෂණික විෂය ක්ෂේත්‍ර ගණනාවකින් සමන්විත විශාල විෂය පථයකි. ඒ හා ඍජුවම සම්බන්ධ විෂයයන් වන්නේ,
  • යන්ත්‍ර හා සම්බන්ධ ඉගෙනීම/ මැෂින් ලර්නින් (Machine Learning)
  • ඩීප් ලර්නින් (Deep Learning)
  • දත්ත හා සම්බන්ධ විද්‍යාව/ ඩේටා සයන්ස් (Data Science)
  • බිග් ඩේටා (Big Data)
  • ස්වාභාවික භාෂා සැකසුම් (Natural Language Processing)
මෙම විෂයන්ගේ සිංහල නාමයන්ට වඩා ඉංග්‍රීසි නාමයන් භාවිතය සුදුසු යයි සිතමි.

පහත දැක්වෙන සටහන මඟින් මෙම විවිධ විෂය ක්ෂේත්‍ර කෙසේ එකිනෙකට සම්බන්ධ වන්නේ දැයි ඔබට  වඩා හොඳ අදහසක්  ලබා ගත හැකි වනු ඇත.

රුපය: කෘතිම බුද්ධිය හා සම්බන්ධ විෂය ක්ෂේත්‍ර 
source: https://blog.umetrics.com/data-science-vs-artificial-intelligence-vs-machine-learning

කෘතිම බුද්ධියෙහි යෙදුම්

අපට හොඳ කෘතිම බුද්ධියක් සංවර්ධනය කරගත හැකි නම්, එය අධ්‍යාපනය, කෘෂිකාර්මික, වෛද්ය කටයුතු, සයිබර් ආරක්ෂාව, යුධ කටයුතු , ව්‍යාපාර, අලෙවිකරණ, ආර්ථික විද්‍යා, ස්වයංක්‍රීය වාහන, අභ්‍යවකාශ ගවේෂණය ආදී ඕනෑම ක්ෂේත්‍රයකටයොදා ගත හැකි වනු ඇත.

අද පවා නවීන AI තාක්ෂණයන් භාවිතා කරන බොහෝ යෙදුම් අපට දැකගත හැකි වේ.
  • ගුගල් සමාගමේ  Google Assistant, ඇමෙසෝන් සමාගමේ Alexa, ඇපල් දුරකතනවල Siri වැනි අතථ්‍ය ආධාර (Virtual Assistance) උපාංග හා සේවාවන්.
රුපය: ඇමෙසෝන් සමාගමේ Alexa සහ ගුගල් සමාගමේ  Google Assistant

  • "සොෆියා" වැනි මිනිසුන් හා සමාන හියුමනොයිඩ් රොබෝවරු - විල් ස්මිත් සමඟ සොෆියාගේ සම්මුඛ සාකච්ඡාව ඇත්තෙන්ම සිත්ගන්නා සුළුය. එය මෙතනින් බලන්න.
රුපය: සම්මුඛ සාකච්ඡාවේ කොටසක්


  • ෆේස්බුක් වැනි වෙබ් අඩවි වල අන්තර්ගත Content filtering සහ යෝජනා (content suggestion - ෆේස්බුක්හි ඔබට නව මිතුරන් යෝජනා කරන ක්‍රියාවලිය වැනි) පද්ධති
රුපය: ෆේස්බුක්හි නව මිතුරන් යෝජනා කිරීම 

  • ස්වයංක්‍රීය රථ වාහන
රුපය: NVIDIA සමාගමේ ස්වයංක්‍රීය මෝටර් රථය


    රුපය: Waymo සමාගමේ ස්වයංක්‍රීය මෝටර් රථය


  • Deep-fake යෙදවුම් (Face-App වැනි) 
රුපය: Deep Fake සදහා  උදාහරණ



කෘතිම බුද්ධිය සම්බන්ධ පර්යේෂණ කරන ප්‍රධාන සමාගම්

සෑම තාක්ෂණික සමාගමක් ම පාහේ අදවනවිට AI පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය සඳහා විශාල මුදලක් ආයෝජනය කර තිබීම පුදුමයක් නොවේ. මෙවැනි සමහර ජනප්‍රිය සමාගම් වන්නේ,
  • අමේසෝන් (Amazon)
  • ඇපල් (Apple)
  • ගුගල් (Google)
  • ෆේස්බුක් (Facebook)
  • එන්විඩියා (NVIDIA)
  • ඉන්ටෙල් (Intel)
  • මයික්‍රොසොෆ්ට් (Microsoft)
  • ලොවපුරා විවිධ තාක්ෂණික විශ්වවිද්‍යාල


කෘතිම බුද්ධියෙහි අනාගතය

තාක්ෂණයේ අනාගතය කෘතිම බුද්ධිය යැයි විශ්වාස කරනු ලැබේ. මෙය මානවයාගේ යහපත සඳහා හෝ  විනාශය සඳහා හෝ විය හැකිය. විද්‍යාවේ ඕනෑම සොයාගැනිමක යහපත් මෙන්ම අයහපත් පැතිකඩක් ද ඇත. AI සම්බන්ධයෙන් ද එය එසේම වේ. අතුරු ආබාධ වලින් තොර වූ බෙහෙතක් පවා සොයාගත නොහැකි යුගයක් කෘතීම බුද්ධිය ගැන කවර කතාද ? 

අනාගත කෘතීම බුද්ධියෙහි ගමන් දිශානතිය තීරණය කිරීමේදී විද්‍යාඥයන්ගේ, නිෂ්පාදකයින්ගේ සහ  පරිශීලකයින්ගේ විනය සහ ඊට අදාළ  නීති රිති  හා රෙගුලාසි විශාල බලපෑමක් ඉටු කරනු ඇත. මිනිසා ස්වභාවයෙන්ම හික්මුණු සතෙකු නොවේ. මෙතරම්වත් හික්මි සිටින්නේ නීති රීති නිසාවෙනි. එම නිසා කෘතීම බුද්ධියක් දියුණු කිරීමට උත්සාහ ගන්නා මෙම යුගයේ එම සියලු උත්සාහයන්  මානව වර්ගයායේ සුබසිද්ධිය සදහා  පමණක්ම යයි  කාට නම්  සහතික විය හැකිද?  

21 වන සියවසේ බුද්ධිමතා ලෙස සලකන විද්‍යාඥ ස්ටීවන් හෝකින් වරක් මෙසේ පවසා ඇත.
"කෘතීම බුද්ධිය යනු මානව වර්ගයා සඳහා සිදුවූ  හොඳම හෝ නරකම දෙය විය හැකිය"
source:https://www.marketwatch.com/story/stephen-hawking-ai-could-be-best-or-worst-thing-in-human-history-2017-11-06

අනාගත ලිපි  වලදී අපි කෘතීම බුද්ධිය හා සම්බන්ධ තාක්ෂණික කරුණු ගැන වැඩි විස්තර සාකච්ඡා කරමු.

Comments

Post a Comment